කුරුල්ලන්ගේ කිචි බිචිය අතර උදෑසන හිරුගේ ආගමනය සිදු වූයේ අවට ඇති ශාක සහ ගල් තලාව මත ඇති පාසි තට්ටුව ඒකාලෝක කරවමිනි. උණුසුම් තේ පානයකින් අනතුරුව දිය ඇල්ලට ඉහල ඇති සොබාවිකව සෑදී ඇති නාන තටාකයට බැස ගත් අප තිදෙනා පැය දෙකක පමන කාලයක් සීතල දිය දහර අතර පිහිනා යමින්,පැහැදිලි දිය මත කිමිදෙමින් කාලය ගත කලේ මේ සොදුරු සංචාරයේ මතක ගොන්න තව තවත් දීර්ඝ කරවමිනි.
උදෑසන නමය පමන වන විට උදෑසන ආහාරයද ගෙන නැවතත් ලක ලැහැස්ති වන්නට වූයේ මේ සංචාරයේ දුශ්කරතම කොටසට අවතීර්ණ වීමටයි. නැවත අකුලා ගත් කූඩාරමත් කර තබාගෙන දිය ඇල්ලේ ඉහල දකුණු කෙලවරින් ගොඩ බට වූයේ මෙතෙක් විටින් විට හමු වූ කුඩා අඩිපාරක් හෝ නොමැති මහා රූස්ස වනාන්තරයකටයි. මෙසේ ඉහලට ගමන් කරමින් සිටියදී දෑස් නතර වන්නේ තැනින් තැන ඇති මහා පර්වත අබියසයි. පාසි වලින් වැසී ගිය මහා පර්වත සහ විශාල ගස් සුන්දර යෝධයන් වැනිය.
විවිධ වූ ශාක අතර තැනින් තැන ඇති මාවුස්සා ශාක ඉහලට එසවී බලා සිටින්නේ ගමන පුරාවට මතකයන් ගොන්නක් ඉතිරි කොට තැබීමටයි. මක්නිසාද යත් මාවුස්සා ශාකයක් අපගේ සමේ ගෑවුනු මොහොතේ සිට දළඹුවකු ගෑවුනා හා සමාන වේදනාවක් සහ කැසීමක් දැනෙන නිසාවෙනි. මෙහි කැසීම සහ වේදනාව ඒ ස්ථානයේ ජලය ගෑවුනු පසු දෙගුණ තෙගුණ වන බව විටෙක ලද අත්දැකීමක් අනුව හොදින් ම මා දන්නා කාරණාවකි.
කෙසේ නමුත් සිතියමට අනුව ඇති මාලිබොඩ දිය ඇලි දාමයේ ඉහල දිය ඇල්ලේ මුදුනට පැමිනීමට සවස දෙක පමණ වන විට අපට හැකි විය. අප රැගෙන ගිය ඇබ්සිලින්ග් රෝප් ආධාරයෙන් මේ දිය ඇල්ලෙන් බැසීමට තීරණය කලේ කාලය ඉහටත් උඩින් ඉතිරිව තිබූ නිසාවෙනි. සැබැවින්ම ගමන ආරම්භයේ සිටම අපගේ සැලැස්ම වූයේ දිය ඇලි හතෙන් පහකින් හෝ ඇබ්සිලින්ග් රෝප් බාවිතා කොට පහලට බැසීමටයි. කෙසේ නමුත් මා ප්‍රථමයෙන් මීටර විස්සක් පමන උස දිය ඇල්ලෙන් පහලට බැස ගත්තේ සංචාරයකදී ලැබිය හැකි සොදුරුතම අත්දැකීමක් මාලිබොඩ ඇලි හත ඉහල සිට ලබාගනිමිනුයි. මා පහලට ගිය පසු ලොකු පීරිස් "ඇබ්සිලින්ග් රෝප්" එක බාවිතා කරමින් පහලට පැමිනීමට සූදානම් වන විට ඒ අත්දැකීම ඩ්‍රෝනයක් මගින් සටහන් කර ගැනීම මාගේ උත්සහය විනි.
ලොකු පීරිස් ඉතා පහසුවෙන් දිය ඇල්ල පහලට පැමිනි නමුත් මා හට ඇති වූයේ ගැටලුවකි. අපගේ ඇස් මට්ටමින් තිබූ දිය ඇල්ලට ඉහල මහා වනාන්තරය මැදින් ඇති තවත් දිය ඇල්ලක් මාගේ නෙත ගැටුනේ ඩෝනයට පිං සිදු වන්නටයි. සිත තුලින් නැගී එන්නේ ප්‍රශ්න ගණනාවකි. "මේ ඇලි හතේ කිනම් දිය ඇල්ල ද..? " " මේ වෙනත් දිය ඇල්ලක් ද..?" "නැතිනම් කිසිවෙකුත් නොගිය ඉසව්වක ඇති ඇල්ලක්ද.." කෙසේ නමුත් සිත තුල නැගි පැනයන් ගණනාවටම පිළිතුරු සොයා ගත යුත්තේ අප විසින්ම ය. නැවතත් දිය ඇල්ල ඉහලට ගොඩ බට වූ අප තිදෙනා ඩෝන වීඩියෝ ආධාරයෙන් අප දුටු දිය ඇලි කිහිපය සොයා නැවතත් ගමන් ඇරඹුවේ අදුර සහ මීදුම වසා ගන්නා සැන්දෑවක පුංචි මල් වැස්සක ආරම්භයත් සමගයි.
සංචාරකයාට මේ දිය ඇලි දාමයේ ආරම්භය දක්වා ගමන් කල හැකි වේවිද..? මේ කිනම් දිය ඇල්ලක කොටස් ද..? මහා වනාන්තරය මැද දිය ඇලි සමග ගත කල සොදුරු සහ වික්‍රමාන්විත සංචාරයේ රූප රචනාවෙන් හමු වෙමු. එතෙක් මේ පැනයන් කිහිපයට පිළිතුරු සොදුරු දිය ඇල්ලක් වටා රචනා කල රූප රචනාව තුල සුරැකිව සගවා තබමි.
ආයුබෝවන් මම දිනේෂ්.
මීලග සතියේත් සුන්දර ගමනාන්තයකින් හමු වෙමු.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - https://www.instagram.com/dinesh_a_pathum
Message or information - https://www.instagram.com/dinesh_a_pathum
DAP production
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Part 01 and part 02
00:00:01 - part 01
01:01:04 - part 02
#dap #dap #camping #nightcamping #nature #forest #freedom #dinesh #dineshapathum