MENU

Fun & Interesting

පටික්කුල මනසිකාර භාවනාව මුල සිට සම්පූර්ණයෙන්ම Patikkula Manasikaraya Bhawana, Balangoda RadhaThero

Video Not Working? Fix It Now

ජේතවනාරාම සෑ මළුවේ සිට 2025 ජනවාරි මස 18 දා රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සර්වරාත්‍රික මහා සතිපට්‍ඨාන සූත්‍ර දේශනාව Ama Dora Viwara Viya - Ven Balangoda Radha Thero YouTube නාලිකාව ඔස්සේ සජීවී ව විකාශනය විය.

භාවනා යෝගීහූ බොහොමයක් තම තමන්ට සුදුසු පරිදි තෝරාගත් භාවනාවක් හෝ කිහිපයක් වඩනා හෙයින්, ඒ උත්තම භාවනා කර්මස්ථාන විසි එකක් (21) ඇතුලත් මේ උතුම් සූත්‍ර දේශනාවෙන් එක් එක් කර්මස්ථානය බැගින් වෙන් කොට පිරිනමන්නේ හුදෙක් ශාසනික මෙහෙවරක් ලෙසිනි.

සම්පූර්ණ දේශනාව https://www.youtube.com/watch?v=eEpPDjQrvgY&t=20752s ඔස්සේ Viwara Viya - Ven Balangoda Radha Thero YouTube නාලිකාවෙන් නැරඹිය හැක.

පුර්විකාව
බුදුන් වහන්සේ විසින් කුරු රට කල්මාෂ්‍යදම්‍ය හෙවත් කම්මාස්සදම්ම නම් නියම් ගමෙහි දී දේශනා කරන ලද මහා සතිපට්ඨාන සූත්‍රය අනුව සතර සතිපට්ඨානයන් වනුයේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යි.

මෙය කායානුපස්සනායෙහි (4) පටික්කුල මනසිකාර පබ්බය

මහණෙනි, නැවත ද අනික් මනස්කාර ක්‍රමයක් කියනු ලැබේ. යෝගී තෙමේ පාද තලයෙන් උඩ ඉසකේ මස්තකයෙන් යට සමෙන් දැවටී ඒ සම අවසන් කොට ඇති නොයෙක් අසුචියෙන් පිරුණු මේ ශරීරය ම සිහි නුවණින් බලයි.

කෙසේ ද යත්? මේ කයෙහි කෙස්, ලොම්, නියපොතු, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදය මාංසය, අක්මාව, දළබු සිවිය, බඩදිව, පපුගඩු, අතුණු, අතුණු බහන්, නොපැසුණු ආහාර, ආහාර ….., මොළ, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේද තෙල, කඳුලු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳ මිදුලු, මුත්‍ර යන මෙකී අපිරිසිදු කුණප වස්තූහු මේ ශරීරයෙහි ඇත්තාහු ය.

මහණෙනි, යම් සේ උඩ යට දෙපසින් මුව (කට) දෙකක් ඇති මල්ලක් හැල් වී, මහ වී, මුං, මෑ, තල යන ආදී නොයෙක් ධාන්‍ය වර්ගයන් ගෙන් පුරවන ලද්දේ වෙයි ද, එය දුටු ඇස් ඇති පුරුෂයක් ඒ මල්ල ලිහා මේ හැල් වී ය, මේ මා වී ය, මේ මෑ ඇටය, මේ තලය, මේ හාල් ය, යන ආදිය කියමින් සලකා බලන්නේ යම් සේ ද, මහණෙනි! එපරිද්දෙන් ම යෝගී තෙමේ පාදාන්තයෙන් උඩ හිසකේ මතුයෙන් යට සම කෙළවර කොට ඇති මේ ශරීරය කෙස්, ලොම්, නියපොතු, දත් - පෙ- කෙළ, සොටු, සඳ මිදුලු, මුත්‍ර යන කුණපයන්ගෙන් පිරී පවතින්නේ ය යි සිහි නුවණින් සලකා බලන්නේ ය.

මෙසේ තමාගේ කයෙහි හෝ කෙස්, ලොම් ආදී කුණු කොටස් මෙනෙහි කරමින් කය අනුව බලන සුලුව වාසය කරයි. අනුන්ගේ කයෙහි හෝ කෙස් ආදී කුණු කොටස් මෙනෙහි කරමින් කය අනුව බලන සුලුව වාසය කරයි. තමාගේ හෝ අනුන්ගේ කෙස් ආදී කුණු කොටස් මෙනෙහි කරමින් කය අනුව බලන සුලුව වාසය කරයි.

කෙස්, ලොම් ආදී කුණු කයෙහි (එය) උපදවන ප්‍රත්‍යය හා ඉපදීම අනුව බලමින් වාසය කරයි. කෙස්, ලොම් ආදී කුණු කයෙහි බිදීයාමේ (නැතිව යාමේ), ප්‍රත්‍යය හා බිඳීම (නැතිවීම) අනුව බලමින් වාසය කරයි. කෙස්, ලොම් ආදී කුණු කයෙහි ඉපදවීමේ ප්‍රත්‍යය හා ඉපදීම ද නැතිව යාමේ ප්‍රත්‍යය හා නැතිවීම ද අනුව බලමින් වාසය කරයි.

මෙහි කෙස්, ලොම් ආදී කුණප කොටස් පමණක් ඇත. පුද්ගලයෙක් හෝ සත්වයෙක් නැතැ යි ඒ භාවනානුයෝගීයාහට සිහිය එළඹ සිටියා වෙයි. එය පිළිවෙළින් ඤාණය වැඩි දියුණුවීම පිණිස වෙයි. පිළිවෙළින් සිහිය වැඩි දියුණුවීම පිණිස ද වෙයි.

වැඩි දියුණු වූ සිහිය හා ඤාණය ඇති ඒ යෝගී තෙමේ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තොරව ද වාසය කරයි. එහෙයින් උපදිමින් නැසෙමින් පවත්නා කෙස්, ලොම් ආදී උපාදාන ස්කන්ධ සංඛ්‍යාත සංකාර ලෝකයෙහි කෙස්, ලොම් ආදී කිසිවක් මම ය මාගේ ය යි කියා තණ්හා දිට්ඨි දෙකින් තදින් අල්ලා නොගනී. මහණෙනි, භාවනානුයෝගී තෙමේ මෙසේ ද කෙස්, ලොම් ආදී කුණු කය අනුව බලමින් වාසය කරයි.

“සමුදය ධම්මානු පස්සී -වයධම්මානුපස්සී - අනිත්තො-න ච කිඤ්චි ලොකෙ උපාදියති” යන මෙකී වචන වලින් පැහැදිලි වන්නේ පටික්කුල මනසිකාර පබ්බයෙහි ද විදර්ශනාව ම මූලික කොට ගෙන වදාළ බව ය. කුමක් නිසා ද යත්? තනිකර සමථයෙන් කය පිළිබඳ ඇතිවීම හා නැති වීම ද නොදත හැකි ය. කය මම ය මාගේ යයි කියා තදින් අල්ලා තණ්හා දිට්ඨි ආදී කෙළෙසුන් දුරු කළ නොහැකි ය. විදර්ශනා භාවනා වෙන් ම කයේ ඇතිවීම හා නැති වීමත් දත හැකි වෙයි. තණ්හා දිට්ඨි කෙලෙසුන් කෙරෙන් ද දුරු විය හැකි වෙයි. එහෙයින් පටිකූල මනසිකාර පබ්බයෙහි ද විදර්ශනාව ඇති විය හැකි බව සැලකිය යුතු යි.

කුමක් හෙයින් ද යත්? කෙස්, ලොම් ආදී වශයෙන් මෙනෙහි කරන කල්හි සිත එකඟවන-සමාධිය ඇති විය හැකිය. සමාධිය වනාහි උපචාර සමාධි-අර්පනා සමාධි වශයෙන් දෙවැදෑරුම් වේ. එහි උපචාර සමාධිය නම් ධ්‍යාන සිත ඇතිවීමට පෙර පෘථග්ජනයාට හෝ සෙඛ පුද්ගලයාට නම් ඥාණ සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත්හි යෙදෙන ඛණික චිත්තෙකග්ගතා චෛතසික ය යි. අර්පනා සමාධිය නම්, ප්‍රථමාධ්‍යානය හා සම්ප්‍රයුක්ත වන ඒකග්ගතා චෛතසික ය යි. “පටික්කූලාරම්මණතා චණ්ඩසොතාය නදියා අරිත්ත බලෙන නාවා විය විතක්ක බලෙන තත්ථ චිත්තං පවත්තතීති අසුභ කම්ට්ඨාන අවිතක්කඣාන අසම්භවතො පඨමජ්ඣානිකාතිවුත්තං” … ටීකායෙහි කී බැවින් කෙස්, ලොම්, සෙම්, සොටු, මල, මුත්‍ර ආදිය පිළිකුල් කුණප කොටස් වූ බැවින් ගංගාවෙහි සැඩ දිය පහරින් පහළට පාවී යන පාරුවක් රිටේ බලයෙන් නවත්වා ගන්නාක් මෙන් පිළිකුල් කුණප අරමුණෙහි සිත නවත්වා ගත හැකි වන්නේ විතර්ක චෛතසිකයේ බලයෙනි. ඒ නිසා මේ පිළිකුල් අරමුණෙහි ප්‍රථම ධ්‍යානය ම මිස විතර්ක රහිත අනික් ධ්‍යානයක් නො උපදනේ ය.

මෙසේ උපචාර-අර්පනා වශයෙන් ලබාගත් ධ්‍යාන ඇති ඒ යෝගී පුද්ගලයා විසින් නැවත ඒ ධ්‍යාන සිත හා එයට අරමුණු වූ කෙස්, ලොම් ආදී නාම රූප ධර්මයන් මෙනෙහි කරන කල්හි ඔහුට ඒ නාම රූපයන්ගේ ඉපදීම හා නැති ව යෑම ද ප්‍රකටව දත හැකි ව න්නේය. මෙසේ මෙනෙහි කරමින් ඒ අරමුණේ තතු දැන ගන්නා වාරයක් පාසා ඒ කෙස් ලොම් ආදිය සහ ධ්‍යාන චිත්තය පිළිබඳ තණ්හා දිට්ඨි දෙක දුරු වී යන්නේ ය. මෙනෙහි කිරීමක් පාසා ධ්‍යාන චිත්තය හා කෙස්, ලොම් ආදිය පිළිබඳ ඇතිවීම හා නැතිවීම ත් ඔවුන්ගේ ප්‍රත්‍ය දැක ගැනීම ත් සමුදය ධම්මානුපස්සී ය යි කියන ලදී. සෙස්ස පෙර කී සේ ම ය. මෙහි දී තණ්හා දිට්ඨිවලින් තොර වූ විදර්ශනාව දියුණුවන බව සැලකිය යුතු යි.

Comment